Monday, April 1, 2013

I miss ...

තාප්පෙ උඩ වාඩිවෙලා, පාඩම් කරන්න කියලා අරගෙන ආපු පොතේ පිටු හුළඟට පෙරලෙද්දි ඔහේ ගස්වල කොල බිමට වැටෙන දිහා පැය ගාණක් වුණත් බලාගෙන ඉන්න, එහෙමම ඉන්න ගමන් බඩ ගින්නක් එහෙම ආවොත් හෙමීට අඹරැල්ලා ගහ ළඟට හරි වෙන මොනවහරි පළතුරු ගහක් යටට ගිහින් පොලු කෑල්ලක් හරි ගලක් හරි ගහලා, එහෙමත් නැත්නම් ගහට නැඟලා ගෙඩියක් දෙකක් කඩාගෙන කන්න, ඊට පස්සෙ අහම්බෙන් වගේ මතක් වුණහම පොතේ පිටුවක් දෙකක් පාඩම් කරන්න, ආයෙම ටිකකන් කරුවල වැටෙද්දි මදුරුවො තල තල එහෙම එතැනම ඉඳන් කල්පනා කර කර ඉන්න, අන්තිමට තාත්තා ඇවිත් බැනලා අඬගහගෙන යනකල් කුරුල්ලො පියාඹනවා බලන්න, තරු පායනවද බලන්න.....

තාත්තා එහෙම ගෙදර නැති වෙලාවට, ගෙදර වැඩ කරන රාණි නැන්දට පොඩි චාටුවක් දාලා කැකුළු බත්වලට කට්ට සම්බෝලයි, කරවල බැදුමකුයි, ගොටුකොල සම්බෝලෙකුයි..හ්ම්ම් තව මොනවහරි..ආහ්..කොස්, පොලොස්, දෙල්, මඤ්ඤොක්කා වගේ දෙයක් එහෙම හදවගන්න, ඊට පස්සෙ පරණ බෙලෙක් පිඟානකට බත් ටිකක් බෙදාගෙන එක්කො අත්තම්ම ළඟට  ගිහින් එයාගෙ පරණ කතන්දර අහන ගමන් බිම වාඩිවෙලා හරි නැත්තම් වත්ත පහල ළිඳ ළඟට ගිහින් ගස් හෙවණේ වාඩි වෙලා කෑම කන්න .....

උඩහ ගෙදරට යන පඩිපෙළ උඩ වාඩිවෙලා හැමතිස්සෙම කකුල් ලෙවකන ටිමියවත් ළඟින් තියාගෙන, උගේ නැට්ටෙන් අදින ගමන් කතා පොත් කියවන්න, එහෙම ඉන්න ගමන් කෝටු කෑලිවලින් මිදුලෙ පුංචි පුංචි පින්තූර අඳින්න....


ගෙදර හැමෝම නිදගත්තහම සද්ද නැතුව කාමරේ ජනේල ටික ඇරගෙන ගස් අතරින් පෙරිලා එන හඳ එළිය දිහා බලන්න, වලාකුළුවලින් හඳ වැහිලා නම් හඳ පේනකල් ජනෙල් පොලුවලට මූණ තියාගෙන අහසයි අඳුරයි දිහා බලාගෙන ඉන්න, ඔය අතරෙදි ඈතින් එන කොපිමල්වල, සේපාලිකාමල්වල සුවඳ විඳින්න, කණාමැදිරියො එහා මෙහා යනවා බලාගෙන ඉන්න.....

 නංගියව හරි වෙන කවුරුහරි එකතු වුණාම කැලෑවල ඇවිදින්න, වෙල අයින දිගේ ඇල ළඟට ගිහින් මාළු පැටව් බලන්න, ගස් උඩ නැඟලා වෙලෙන් එගොඩ තියෙන නැන්දලාගෙ ගෙදරට ඇහෙන්න කෑගහන්න ....

අයියල අක්කල එහෙම එකතු වුණහම වෙලාවක් අවේලාවක් නැතිව, බෝල පැලෙනකල්, බැට්වල පතුරු යනකල් හවසට පටන්ගෙන මහ රෑ වෙනකල්, අතපය තුවාල වෙනකල් ක්‍රිකට් ගහන්න; ඒත් එක්කම කෑගහන්න...එතකොට ක්‍රිකට ගහලා ඉවර වෙලා එක එක කෑම ජාති හදාගෙන කන්න, රෑ කරුවලේ ඉටිපන්දම් පත්තු කරගෙන සිංදු කියන්න...

කරන්ට් එක නැති දවසට හයියෙන් වහින රෑක නංගිත් එක්ක එකතුවෙලා ඇඟිලිවලින් හෙවනැලි රූප හදලා පුංචි පුංචි කතන්දර හදන්න, දවල් වෙලාවක නම් කුඩ ඉහලගෙන හරි ගිහින් කඩදාසි බෝට්ටු පා කරන්න, තෙමෙන්න; ඉස්කෝලෙ ඇරිලා වෑන් එකෙන් බැහැලා වේල්ල දිගේ ගෙදර එන අතරෙ වැස්සොත් එහෙම කීයටවත් කුඩයක් ඉහලන්නේ නැතිව ගෙදර යන්න, හිරිකඩ ගේ ඇතුලට එන්න ජනේල ඔක්කොම ඇරලා දලා දින පොතත් අතේ තියන් ඒකෙ එක එක දේවල් ලියන්න, පරණ මතකයන් අවුස්සන්න....

තාත්තා ගෙදරට පත්තර ගෙනාවම රැ  එලිවෙනකල් ඒවා කියවන්න, හොඳ කත පොතක් එහෙම හොයාගත්තොත් පහුවදා මොන විභාගයක් වැදගත් වැඩක් තිබුණත් ඒක කියවලා ඉවරකරන්න, හිතුනහම පාට පෙට්ටියක් දියසායම් එහෙම හොයාගෙන චිත්‍ර අඳින්න....


Image: Click Here

 මම ගොඩක් ආසයි. 

ඒත් දැන් ඒ කිසිම දෙයක් කරන්න විදියක්, වෙලාවක් නෑ.
චුට්ටක් දුක හිතුණා.   :)










48 comments:

  1. මේ පුංචි පුංචි දේවල් වල මතක අදටත් අපිව ජීවත්කරවන එක නම් ඇත්ත..

    ReplyDelete
    Replies
    1. ඔව්. අනිවර්යයෙන්ම :)

      Delete
  2. හ්ම්...ඇත්ත ලංකාවෙ දුවෙකුට මෙහෙම හිතෙන්නෝන.ඒ වුණත් ඉතින් මතකය දුකයිනේ.කමක් නෑ කවද හරි හොදට ඉගෙනගෙන ලොකු නෝන කෙනෙක් වෙලා අක්කා ආපහු මෙහේ එන්න...මං සුබ පතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියා :)

      Delete
  3. api danna, api asa loke podda podda apen ehata wenawa ne.... hamadama punchi wela inna thiyenam

    ReplyDelete
    Replies
    1. ඒකනේ...

      අපි ලොකුවෙනකොට හැමදේම සංකීර්ණ වෙනවා. දුශ්කර වෙලා වෙනස් වෙනවා. :/

      Delete
  4. Replies
    1. කරන්න දෙයක් නෑ සහෝදරී :'(

      Delete
  5. අපිට ආසා ගොඩක් දේවල් කරන්න අපිට ඉන්න වෙලා තියෙන කාර්යබහුල ජීවිතයෙන් ඉඩක් නැහැ. ඒ වගේමයි අපිට මේ විදිහට අපි ඉස්සර හරි කලානේ කියලා සතුටු වෙන්න පුලුවන්. ඒත් අද කාලේ ඉන්න ගොඩක් ළමයින්ට එහෙම හිතන්නවත් දෙයක් නැහැ. මොකද පොඩි කාලේ ඉදන්ම උන්ව දාලා තියෙන්නේ කාර්යබහුල අච්චුවට :(

    ReplyDelete
    Replies
    1. "අපිට මේ විදිහට අපි ඉස්සර හරි කලානේ කියලා සතුටු වෙන්න පුලුවන්"

      ඔය විදියට හිතුවොත් නම් ටිකක් සැනසෙන්න පුලුවන් තමයි හසිතයියේ.. :)

      Delete
  6. මටත් එහෙම හිතෙන වෙලාවල් තියෙනවා. පුංචි කාලෙ කරපු සමහර දඟ වැඩ...එහෙමත් නැත්තම් පුංචි එකෙක් වගේ පොඩි උන් ටිකකුත් එක්ක ක්‍රිකට් ගහන්න..නැත්තම් මහා හයියෙන් හිනා වෙන්න..කොහෙද වෙලාවක් නැති කමට වඩා දැන් ඕවා කරන්න ගියොත් මිනිස්සු හිනා වෙයි අලි බබ්බු කියලා...

    සුන්දර මතක හැමදාම සුන්දරයි නංගා

    ReplyDelete
    Replies
    1. "වෙලාවක් නැති කමට වඩා දැන් ඕවා කරන්න ගියොත් මිනිස්සු හිනා වෙයි අලි බබ්බු කියලා..." - :(

      "සුන්දර මතක හැමදාම සුන්දරයි.." (Y) (Y)

      Delete
  7. චුට්ටක් නෙවෙයි... මට නම් ගොඩාක් දුක හිතුනා.............

    මට මාවම මතක් උනා... හැමදාම පොඩියට ඉන්න තියෙනව නම්..

    ReplyDelete
  8. ඔයා අපිවත් හොරෙන්ම ඒ අතීතයට අරන් යනවනේ. අර පරණ බෙලෙක් පිගානටත් වඩා මං නං ආස උයපු ඇතිලියටම දාල පිහදාගන කන්න තමා. නැත්තං කොළපොත් පට්ටෙක බත් එකක් බැදල තියන පැයකින් විතර කන්න තමා. කෝ දැං ඒකට ඉඩ කඩක්.. අනේ අපොයි කියල හිතෙනවා. ඒත් හිතල බලන්න මේව හැමදාම කරන්න වුණාමත් අපටම එපා වෙනව නේද කියලා. එදා සිරිත් අත හැරියෙත් අපිම නේද. මේක තමා චක්‍රය.

    ReplyDelete
    Replies
    1. මමත් ඔය ක්‍රම දෙකටම ආසයි. දෙකම කරලා තියෙනවා. ඒත් දුශ්කරයි නේ. ඒ නිසා වැඩිය කෙරෙන්නෙ නෑ. ඒ වුණාට අංකල් කොස් තම්බලා අඩිය අල්ලපු (කරවෙච්ච) කෑලි ටිකක් කරවල් හොදි හට්ටියෙ වගේ දාලා පිහිදගෙන කනකොට..ම්ම්.. නියමයි :)

      ඒත් අංකල් එපාවෙනවා කියන කතාවට මම නම් අකැමතියි. මොකද ඕනම කෙනෙක්ට මේ වගේ අත්දැකීම් වරින් වර මිසක් දිනපතා නොලැබෙන නිසා.

      Delete
    2. //කොළපොත් පට්ටෙක බත් එකක් බැදල තියන පැයකින් විතර කන්න තමා.// මං පුංචි කාලේ කෙසෙල් කොලයක බත් එකක් ඔතාගෙන ගේ වටේ රවුම් දෙක තුනක් ඇවිදලා ඇවිත් ගහක් යට හරි කොහේ හරි ඉඳන් දෙනවා වැඩේ ඒකට. :D

      Delete
  9. :O මටත් ඔය සමානම අදහස් දැනටත් තියෙනවා.

    ReplyDelete
  10. ලොකු වෙනකොට ජීවිතෙන් ඈත් උන ගොඩාක් දෙවල් ගැන පොතක් ලියන්න පුලුවන් :(

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් සහෝදරී..

      Delete
  11. ඔහොම මතක් කලොත් තව කොච්චර නම් දේවල් තියද? ඔහොම තමයි වකා නංගි, ඒ දේවල්ම නැති වුනත් අලුතෙන් කරන්න පුලුවන් ආස කරන දේවල් හොයා ගන්න ඕනෑ.

    ReplyDelete
    Replies
    1. "ඒ දේවල්ම නැති වුනත් අලුතෙන් කරන්න පුලුවන් ආස කරන දේවල් හොයා ගන්න ඕනෑ"

      හ්ම්ම්.. :/

      Delete
  12. ඒ මතකයන් අතර හැමදාම ජීවත් වෙන්න පුලුවන් තරමටම ඒ අතීතය සුන්දරයි.....

    ReplyDelete
  13. hmmmm loku mathakayak mathak una...
    digatama liyanna haroma sanwedi...

    ReplyDelete
  14. ඔයාට ඔයාගෙ අතීතය ගැන ඔහොම හිතෙනව නම් මට කොහොම නොහිතෙනව ඇත්ද?අපි හැමෝම අපේ සොඳුරු මතකයන්වල තාම ජීවත් වෙනවා. ඒව තම මේ බ්ලොග්වලින් එලියට එන්නෙ. අපි ගොඩක් වෙලාවට ලියන්නෙ ඒ ඔඳුරු සිහින ගැන නේද? පොඩි ඇඩ්වටයිසින් පාරක්. මගෙ අලුත් බ්ලොග් එකට ගොඩ වදින්න ඇරයුම්.
    http://gimannivanie.blogspot.com

    ReplyDelete
    Replies
    1. "අපි හැමෝම අපේ සොඳුරු මතකයන්වල තාම ජීවත් වෙනවා" :)

      ඔන්න මම අලුත් බ්ලොග් එකට ගොඩ වැදුණා :D

      Delete
  15. ඒ දවස වලම ඉන්න තියෙනවනම් හොදයි කියලා හිතෙන්නේ මෙන්න මේ වගේ වෙලාවට.. ඒත් කාලය ගෙවිලා අපි රේස් එකකට ඉබේම වැටිලා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ දිනේෂ් අයියේ.. කියලා වැඩක් නෑ මේ තියෙන රේස් එක ගැන නම්.. :/

      Delete
  16. අපේ ජීවිත වෙනස් වෙද්දී, අපි වයසට යද්දී ඒ වගේ හුඟක් දේ අත හැරෙනවා. අත් හරින්න වෙනවා. ඒ වුනාට හැමෝම ඒ කාලේ තිබුණු සැහැල්ලුවට, සුන්දරත්වයට කැමතියි.

    ReplyDelete
  17. ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete
    Replies
    1. එසේම වේවා අංකල්ටයි පවුලේ හැමෝටමයි :)

      Delete
  18. නංගිටත් පවුලේ හැමෝටමත් සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. අයියටත්, පවුලේ සැමටත් එසේම වේවා ! :)

      Delete
  19. මගේ බ්ලොග් එකේ තිබ්බ කොම්න්ටුවක් දිගේ ආවේ....ලිපිය කියෝගෙන යද්දී පුංචි කාලේ මතක් උනා...ඇම්බරැල්ල ගහේ ගෙඩි කඩන්න පොලු ගහල බැනුම් අහපු හැටි....හවසට රඹුටන් ගහ උඩට වෙලා ඉර බහින හැටි බලන් හිටපු හැටි...හුළඟට ඈත තියන ගස් වල කොළ හෙලවෙන විදිය බලන් හිටපු හැටි...සරුංගල් කාලෙට වෙලේ දුවපු හැටි...වෙල අයිනේ කුරුම්බා ගස් වල බඩගාලා කුරුම්බා කඩපු හැටි...අම්ම හොයාගෙන එන්න කලින් ගහෙන් බහින්න ගිහින් තුවාල කර ගත්ත හැටි...ගමේ තියන කැලෑ වල,කඳුවල ඇවිදපු හැටි...ඇලේ මාළු පීනන විදිය පැය ගණන් බලන් හිටපු හැටි......මේවගේ ගොඩක් දේවල් මතක් උනා මේක කියෝගෙන යද්දී...ලිපිය විතරම කමෙන්ටුවක් දාතැහැකි සේරම ලියන්න ගියොත්....ගොඩක් කාලෙකින් ආසාවෙන් කියෝපු ලිපියක් (හැමෝම පට්ට ගහන දේශපාලන කතා වලටයි ජාති වාදී කතාවලටයි වඩා කොච්චර හොඳද...)

    ReplyDelete
    Replies
    1. මුලින්ම ගොඩක් ස්තූතියි ඔබට.. මේ පැත්තට ගොඩවුණාට :)

      හිහී.. මටත් තව දේවල් මතක් වුණා කමෙන්ටුව කියවද්දී...ඉස්සර අපි කරපු තවත් දඟ වැඩ ගැන එහෙම. ඔබ ආසාවෙන් කියෙව්වා නම් මටත් සතුටුයි. මම සාමාන්‍යයෙන් මේ බ්ලොග් අඩවියේ දේවල් ලියන්නේ පට්ට අමුවෙන් - unedited (මගේ යාළුවෝ කියන විදියට) මොකද මම ලියන්නේ මගේම අත්දැකීම් නිසා.

      හැබැයි සමහරවෙලාවට, යන්තමින් වගේ මේ ලියන දේවල් ඇතුලෙ මගේ දේශපාලන අදහස්, තව එක එක විකාර තියෙන්න පුළුවන්. ඒත් මම ඒ වගේ මාතෘකා ගැන නම් මොනවත් ලියන්නේ නෑ තමයි. :D

      Delete
  20. අදයි ආවේ..

    ජය පතමි...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ..:)

      බ්ලොග් ලෝකෙ සුපතල චරිතයක් මේ වගේ පිස්සු විකාර කියවන්න ආපු එක ගැන නම් වකාට තාම පුදුමයි. :P

      ඔබටත් ජයෙන් ජය !

      Delete
  21. මේ පැත්තට අදයි ආවේ ....
    ඇත්ත අපි ඔක්කොම තරගෙකට වැටිලා .. පරණ ලස්සන මතක හැම එකක්ම මතකයක් විතරක්ම වෙලා....

    ජය වේවා

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි ..:)

      Delete



Subscribe by email