Saturday, October 19, 2013

Travel often; getting lost will help you find yourself







ඊයේ  හවස ග්‍රවුන්ඩ් එකේ ගහක් යට බිම වාඩිවෙලා කඩල ගොට්ටක් කකා  පහුගිය දවසක හොඳම යාලුවෙක් කරපු ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරාට එයාට හොරෙන් හරි..මට සතුටුවෙන්න ,ඒ වැඩේ සම්පුර්ණ කරනවා කියල හිතන් ඒ වැඩේට ගැලපෙන..ලස්සන වචන මතක් කරන ගමන් මට ඈත අහස දිහා බලාන ඉන්න අතරේ නින්ද ගියා හෙමින්. ඇහැරිලා බලද්දී රෑ හතහමාරයි. හොඳටම අඳුරු වෙලා තිබුණේ නෑ ඒත්..මට පැය දෙකක් විතර නින්ද ගිහින්..හොඳටම..දැන් මතක් වෙනකොටත් හිනහ යනවා. වෙනදට බෙන්ච් එකක් උඩ පොඩ්ඩක් නිදාගත්තට මම ඉන්නේ බාහිර ලෝකේ ගැන අවධානෙන්. ඒත්..ඊයේ.. 

අද ඔය සිද්ධිය ආයෙම මතක් කරද්දී ලියන්න හිතුණා පොඩි සටහනක්.ඒ  හරි අපූරු මතක පේලියක් මගේ ඉස්සරහ දිග ඇරුණ නිසා.

අපි ගෙවන්නේ මහා විකාර ජිවිත. ඔව්..විකාර කියන එක තමයි ඔතනට ගැලපෙනම වචනේ. හීන, අරමුණු, පස්සේ ඉසිඹුවක් නැතිව දුවන.. හරිහැටි වටිනකමක්වත්, ප්‍රයෝජනයක්වත් නැති.. සමාජෙට ඕන විදියට රුකඩ වගේ නැටවෙන..පොඩ්ඩක් ඉන්න..සමාජය කියන්නෙත් අපිමයි නේ... අපිට ඕන ඕන විදියට..අපි හදාගත්ත සීමා මායිම් ඇතුලේ අපි අපිවත් දන්නේ නැති  දෙයක් වෙනුවෙන් දුවනවා.

කෙනෙක් කියන්න පුළුවන් මම මේ ජිවිතේ වෙහෙසයි කියන්න පොඩි වැඩියි කියල. ඔව් සමහරවිට වෙන්න ඇති. ඒත්.. එක්තරා විඩාපත් බවක් මාව විතරක් නෙවෙයි..මම දකින, ඇසුරු කරන සමවයස් පුද්ගලයන්ගේ ජීවිතවල පවා තියෙන බව මට දැනිලා තියෙනවා. ඔය කියන විඩාපත් බවෙන් ගැලවෙන්න ඕනෑම දෙයක් කරන්න ලැස්ති කෙනෙක් තමයි මම.ගොඩක් කල්පනා කරාට පස්සේ තේරුනා හොඳම දේ..ම්ම්ම්..ඒක ඉතින් එක එක යට අනුව වෙනස් ඇති. ඒත් මට ඕන වුණේ තනිවෙන්න..තනිවෙන්න කීවෙ මම ආදරේ කරන, අගය කරන දේවල් විතරක් තියෙන ලෝකෙක මොහොතකට හරි .. 

ඉතින් මම  *******පටන්ගත්තා... ඔව් ******* පටන්ගෙන ගොඩක් කල් තමයි. ඒත් ඒ  ඇයි? කියල නොදැන.. මහා සංකීර්ණ ලෝකයක් එක්ක. ඒත්.. මේ කියවීම ඒ ගැන නෙවෙයි. නිදහස සොයාගෙන ******* එක ගැන.

ටිකක් හිතන්න. අපි කොහෙහරි යනවා..ඉස්කෝලෙට, කාර්යාලෙකට..මන්දා.. ඔය ඕන තැනකට. අපි ඒ යනකොට වටපිට බලාගෙන යනවා තමයි..එහෙම නොබලා යනවත් තමයි. කොහොමහරි අපි අපේ ගමනාන්තයට ගියහම කවුරුහරි ඇහුවොත්  ඔබ මොනවද අතරමඟදී දැක්කේ කියල...නිකමට හිතන්න  ගෙදර ඉඳන් කාර්යාලෙට එන අතරේ ට්‍රැෆික් ලයිට්ස් කීයක් පහු කරන් ආව ද  කියල වගේ දෙයක්.. :)  අපි මොනවහරි කියාවි. සමහර විට ඇත්ත. ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ අපි ඇත්ත කියන එක නෙවෙයි..එක්කෝ මතක පොඩි දෙයක් එක්කල ලොකු කතාවක් හදල කියනවා, නැත්තම් තනිකරම බොරුවක් කියනවා. ඒක හිතල කරන දෙයක් නෙවෙයි. ස්වභාවික දෙයක්. ඒත්.. මොකක් හරි අවුල් ගතියක් දැනෙනවා නේද? කියන්න ආවේ එකක්.. ඒත් කියවුනේ වෙන දෙයක්. ඒත් මැකුවේ නෑ මේ ටික..

දැන් ආයෙම කතාවට.. සති අන්තයේ හැන්දෑවල්.. සති අන්තයේ කිව්වට මට නිවාඩු නිසා සිකුරාදාවල්, සෙනසුරාදවල් තමයි ඉතින්.. පුංචි පුංචි ගමන් බිමන යන්න ම්ම වෙන් කරන්නේ.මුලින්ම එහෙම ගියපු ගමන ගැන මම කියන්නම්. හිනාවෙයි ඔබ. ඒත්.. ඔව්.මම මුලින්ම ගියේ යුනිවර්සිටි එකට. වෙනදා යන පාරේම..ඒත්..වෙනස් විදියට ඒ ගමනේදී හිතන ගමන්.. මට කියන්න තේරෙන්නේ නෑ. ඒත් ඔබ දන්නවා ඒ හැගීම. හැමදාම යන එන පාරේ වෙනදට දකින්නේ නැති අමුතු අපූරු දේවල් දකිනකොට...  ඉර බහින හැටි ලස්සනටම පේන තැන්, හැංගිලා ඉන්න, පාඩම් කරන්න හොඳ තැන්, . චූටි චූටි තණකොළ මල්, වල් බිහිවෙලා ගියපු වහලා දාපු පරණ ගෙවල්, වටපිටාවේ ඉන්න මිනිස්සු, ඒ අය කරන කියන දේවල්..දකිනකොට දැනෙන දේ හරිම පුදුමයි. 

දන්න කියන කවුරුවත් නැති පුංචි නගරෙක, කෙළවරක් තියෙන්නේ කොහෙද කියල දන්නේ නැති කවදාවත් නොගියපු පාරවල්වල හැන්දෑවල හෙමින් ඇවිදගෙන යන එක තරම් මම මේ අලුත්  ජිවිතේ ආදරේ කරන වෙන කිසිම දෙයක් නෑ. කවමදාවත් ඒ ගමන්වලදී මහන්සියක් දැනෙන්නේ නෑ. බයක් දැනෙන්නේ නෑ. වෙලාවක් අවේලාවක් නැති ඒ ගමන් හැම එකක්ම හරිම වෙනස්, හරිම නැවුම්.  මට මතක් වෙනවා බෝනික්කන් හදපු රටට ගියපු වෙලාවෙ අයියත් එක්ක  පාරවල් දිගේ මහා රෑ ඇවිදගෙන ගියපු හැටි.කියවල දැක්ක රට ඇත්තටම එහෙම පෙනෙයි කියන බොළඳ අදහසින් මම එහෙම ඇවිදගෙන ගියේ ගමක වුනත්, මම මවාගත්ත ලෝකේ හිටපු වැඩ ඉවර වෙලා ගෙදර යන අහිංසක ගොවියෝ, වෙළෙන්දෝ..නගරේ පැත්තට එද්දී, අවන්හල් දිහාවට යන ලස්සනම ලස්සන කිමෝනාවල් ඇඳපු ගේෂාවන්..ඒත් මම දැක්කේ හිස් අහසක් යට කාර්යබහුල මිනිස්සු ගොඩක් විතරයි. එදා මට ඒ ගමනේදී මහා හිස් තනිකමක් දැනුණා. ඒත් පස්සේ තේරුනා මම ඒ හැගීමට ආදරෙයි කියල. මට පස්සෙත් එහෙම පාරවල් දිගේ ඇවිදගෙන යන්න ඕන වුණා. ඒත්, එක ගොඩක් අමාරු වුණා. 

පිට්ටනියක් අයිනේ බෙන්ච් එකක් උඩ ටිකක් නිදාගනිද්දි,පොඩි වතුර පාරක් අයිනට වෙලා මෙලෝ සිහියක් නැතිව ඒ දිහා බලාගෙන ඉන්නකොට, වහිද්දි ගහක් කොලක් නැති නිරාවරණ තැනකට ගිහින් වැස්සට මාව තෙතබරියම් කරන්න දීල නොහෙල්ලී ඉන්නකොට දැනෙන  විකාර හැගීමට මම ආසයි. එක හරියට කවුරුහරි දැනෙන්න, වදින්න කතා කරාම, දෙයක් ලිව්වම දැනෙන ඇඟ හිරිවැටිලා යන ගතිය වගෙයි.  

රෑ කෝච්චියක ඇවිත් තියෙන කෙටිම පාරෙන් නැතිව තියෙන දුරම පාරෙන් ගෙදර යන්නත් මම ආසයි. කරුවලේ ඇවිදිනකොට මට දැනෙනවා..මම මගෙත් එක්කම කතා කරනවා. සිතිවිලි එක්ක කඳුළු, හිනාවල් සැරෙන් සැරේ පිටවෙනවා. එතකොට මම ටිකක් බයවෙනවා. මොකද ඒ ගමනේදී අනිවාර්යෙන් මට අතරමඟ මුණ ගැහෙන වාහන දෙක තුනේ එලියට ඒ වාහනවල ඉන්න මිනිස්සුනට මගේ මුණේ තියෙන විකාර හැගීම් පෙනේවි කියල. ඒ වෙලාවට මම තව චුට්ටක් පහු බහිනවා.එතකොට මම කරන තවත් දෙයක් තමයි අහස දිහා බලන එක. එහෙම අහස දිහා බලනවා කියන්නෙත් ගමන තවත් ටිකක් ප්‍රමාද වෙනවා කියන එක තමයි. අහස බැලුවම.. අහස බැලුවම ගොඩක් දේවල් මතක් වෙනවා. අහස ගැන අපි පස්සේ ලියමු.

ඔය ගමන් අතරේදී සමහර වෙලාවට මම එක ගුවන් විදුලි නාලිකාවක් අහනවා...අහම්බෙන් හොයාගත්ත..පට්ටම එකක්.. කරන්නන් වාලේ හයේ හතේ පන්තිවල දී කරාට සංගීතයක් ගැන මෙලෝ දැනුමක් නැති මම ඒ චැනල් එකේ එක දිගට ප්‍රචාරය වෙන සම්භාව්‍ය සංගීතය අහන ඉන්නවා..සංගීතය කියන්නේ විඳින්න දැනුමක් වයසක් අදාළ නැති ලස්සන භාෂාවක් තමයි.. ඒත් මට හැමතිස්සෙම ආසයි ඒ ගැන වැඩිපුර දැනගන්න. මහන්සි නොවී එක කරන්න බැරි බව මම දන්නවා. ඉතින් නොදන්න විදියටම ඉන්නවා..ඒ නොතේරුම්කමටත් මම ගොඩක් ආසයි. .මට නොදනී ඒ සංගීතය හෙමින් මාව... මාව අල්ලාගෙන ඉන්නව. මම දිගටම ඇවිදිනවා. 
  
ඔහොම ගමනක් යද්දී නොවැරදීම පැන්සල් කොටේකුයි, හතරට පහට නවපු හිස් කඩදාසි දෙක තුනකුයි අනිවාර්යයෙන්ම මගේ සාක්කුවක තියෙනවා. මට දැනුණා මේ ලඟදි ආයෙම මම චිත්‍ර අඳිනවා නේද කියලත්.. රේල් පාර අයිනේ කපල දාපු ගහක කොටයක් උඩ වාඩිවෙලා ඉන්න ගමන් මම අතේ තිබුණු සටහන් පොතේ ඉබේම ඇඳුනු  චිත්‍රය දැකල.

ඔහොම ඇවිදින්න යනකොට දන්න කියන මිනිස්සුත් අහම්බෙන් වගේ මුණ ගැහෙන වෙලාවලුත් තියෙනවා. ලඟදි දවසක අහම්බෙන් ලෙක්චරර් කෙනෙක්  මුණගැහුණා... සර් ගෙ පුතා සෙල්ලම් කරන මැච් එකක් එතන ග්‍රවුන්ඩ් එකේ තිබුණා. සර් මගෙන් ඇහුව එනවද මැච් එක බලන්න කියල. මම හා කිව්වා. සර් ළඟ එතනම පිට්ටනිය අයිනේ වාඩිවෙලා මම හරියට අදුනන්නේවත් නැති අර මල්ලියගේ ටීම් එකට චියර් කර කර කෑගගහ හිටිය වැස්සක් ඇවිත් මැච් එක නවත්තනකල් ම. ඔය අතරේ සර් මගෙත් එක්ක කතා කරනවා. පාඩම් වැඩ ගැන අහල අහනවා මොකද මේ ඇවිද ඇවිද ඉන්නේ ඇයි  කියල. මම හිනාවෙනවා. ඉස්සර තරුණ කාලේ සර් ලා ගියපු බයිසිකල් සවාරි ගැනත් ඒ අතරේ කියනවා. බයිසිකල් කිවම මට මතක් වෙන්නේ චේ ව. චේ ගෙ මෝටර් සයිකල් සංචාරය ගැන තියෙන පොත මම ගොඩක්ම ආසාවෙන් කියවපු එකක්. මට පිස්සු. කතාවක් කියන්න අවම රටේ නැති දේවල් මතක් වෙනවා. පොඩ්ඩක් ඉන්න..නෑ.. ඔව්..මම ඒ පිස්සු ගතියට ආසයි. මේ වගේම මම ආදරේ දෙයක් තමයි පොත් සාප්පුවල පැය ගණන් පොත් කියව කියවල අත ගගා ඉන්න එක. 

සර් පහුවෙනිදා ලෙක්චර් එක ඉවර වුනාම ෆෝන් එක ගෙනල්ල මට ෆොටෝ එකක් පෙන්නනවා. මම එක දිහා පුදුමෙන් වගේ බලාගෙන ඉන්නවා. එකේ ඉන්නේ මම. මට එක දැක්කම කෙනෙක්ව මතක් වෙන එක නවත්තන්න බැරි වුණා. එදා එයා අපේ ගෙදරට ආපු මුල්ම දවසේ මම ඇඳන් සිටිය සාක්කු ගොඩක් තියන ෂෝට් එකයි, පට්ට ගහපු.. මතක ගොඩක් දිහා බලන් හිටපු ටී ෂර්ට් එකකුයි ඇඳන්, එයාගේ ඔරලෝසුව දකුණු අතේ පිරිත් නුලට උඩින් බැඳගෙන, අත් දෙක කලිසම් සාක්කුවල ඔබාගෙන, කැප්  එකකුත් දාගෙන අහස දිහා බලන් හීනියට විසිල් පාරක් ගහන් ගෙදර යන මං...අර සෙරෙප්පු දෙකත් දාගෙන. හරියට ඒ පින්තුරේට පණ ඇවිත් වගෙයි මට දැනුනේ..ඒ හැගීම අපූරුයි..මම දකින්න ආස මමයි එතන හිටියේ.ඒ මොහොතට, තප්පරේට විතරක් හරි.  ඒත් මම මොකක් හරි හේතුවක් නිසා ජායාරුපවලට ආස නෑ..ඒ ආයෙම ඒක දකිද්දී මට දුක හිතෙයි කියන බයට වෙන්න ඇති සමහරවිට...ඊට වඩා මම ආසයි අපහදිලිව හරි මතකයේ ඇඳිලා තියෙන ඒ  මොහොතට.. මම ඒ පින්තුරේ ඩිලීට් කරලා සර්ට ෆෝන් එක දීල හෙමින් ගෙදර ආවා. වෙනදා ගෙදර එන්න යන විනාඩි තුන දැන් දහ තුනක් විතර වෙන දවස් නැතිව නෙවෙයි. බලන්න ලස්සන දේවල්..සිදුවීම්..මිනිස්සු දිහා බලාගෙන ගෙදර යන්නේ මං පරක්කු වෙලා.කවදාවත් ඒ වෙලාව නාස්තියක් කියල මේ වෙනකල් මට දැනිලා නෑ..හැම දවසකම අලුත් වෙනසක් ඇරෙන්න. එහෙම දැනෙන එකකුත් නෑ.

ඔය අතරට තව ලියනවනම්..  ගෙදර ළඟ ස්ටේෂන් එකෙන් කෝච්චියේ නැඟල..කවදාවත් නොගිය ලයින් එකක ගිහින් හිතුණු තැනකින් බැහැල ටිකක් ඇවිදලා ආයෙම රෑ බෝවුනාම ගෙදර එන එක.. ඉඳල හිටලා අන්කල්ලගේ ගෙදර ගිහින් මලයාගේ බයිසිකලෙත් පැදගෙන..ආයෙම හරියට නොදන්නා..වෙනදා නොගියපු පාරවල් දිගේ යන එකත්..ගොඩක්ම ආදරේ කරන මතකත් එක්ක තනිවෙලා හිතට වැදුණු අවන්හලක මුල්ලකට වෙලා පැය ගානක් තිස්සේ කෝපි කෝප්පයක් තොල ගගා ඉන්න එක.. මිනිස්සු මහා ගොඩක් ගැවසෙන තැනක තනිවෙලා ඉන්න එක, සිටි එකට ගිය දවසට සමහර වීදිවල ඉන්න කලාකරුවෝ ළඟ ටිකකට නවතින එක.. චිත්‍ර අඳින අය, වාදකයෝ, නළුවෝ, ගායකයෝ එක එක විදියේ.. අපුරු දක්ෂකම් තියෙන, අපුරු කතාවල උරුම කාරයෝ වෙච්ච මිනිස්සු දිහාව බලන් ඉන්න එක..පුස්තකාලෙට ගිහින් කිසිම වැඩක් නොකර ඉන්න එක.. මේ හැම දේකම තියෙන අමුතු 'ගතියට' මම පට්ට ආදරෙයි.  කවුරුවත් තමන් දිහා බලන්නේ නෑ කියන හැගීම එක්ක තනියම සතුටු වෙන්න..තම ආස දෙයක් කරගෙන ඉන්න එක හරිම ලස්සන දෙයක්..

මම රස්තියාදු ගහන්න ආසයි
රස්තියාදුවක තියෙන අතරමං කරවන ගතියට මම ගොඩක් ආදරෙයි.

 මම මේ ලිපියේ මාතෘකාව ලියන කලින් පොඩ්ඩක් සොයල බැලුවම දැක්ක මේ සටහනේ තියෙනවා වගේම..මට මාවම පෙන්නනඒ වෙලාවල්වලට මම ආසයි.

මම ලියපු විකාරවලට වඩා ඇත්තටම  හිතන්න දෙයක් මේ සටහනේ තියෙනවා.

අන්තිමට..


ඔව් ජිවත් වෙනවා කියන්නෙත් රස්තියාදුවක්...




14 comments:

  1. ජිවත් වෙනවා කියන්නේ රස්තියාදුවක්.. ඔව් හරිම සුන්දර ඒ වගේම අභියෝග පිරිච්ච රස්තියාදුවක්! අපි ජිවත් වෙනවා කියාලා දැනෙන්නේ මේ විදිහට නිවිහැනහිල්ලේ කල්පනා කරපුවහම තමයි!

    ReplyDelete
    Replies
    1. "අභියෝග පිරිච්ච රස්තියාදුවක්" !! :)

      Delete
  2. මට විතරක් නෙමේ. ඕනෑම කාන්තාවකට හරි නොදරුවෙක් ට හරි හිතෙන ඕන රෑක එලියට බැහැල තරු එළියේ ඉබාගාතේ ඇවිදින්න තියෙන සුරක්ෂිත භාවය මිශ්‍ර නිදහසට මමත් ඇබ්බැහි වෙලා.

    ලංකාවට කොච්චර ආදරය කලත් හයේ හතරේ මිනිහෙක් උනත් රෑක ගෙයින් එලියට බැහැපු හැටියේ පිහි පෙන්නලා මංකොල්ල කන පිරිහුණු ලාංකීය සමාජයේ තවදුරටත් ජිවත් වෙන්න හැකියාවක් නම් මට දැන් නැහැ. සාරධර්ම , මනුෂ්‍යත්වය , කරුණාව , ගුණයහපත් කම් ගැන කෙතරම් පාරම් බෑවත් ඒ කිසිවක් ප්‍රයෝගිකව නැති තැනකට වඩා මෙහෙ මනුෂ්‍යත්වයට කොච්චර සැලකීමක් , නිදහසක් තියෙනවද ... ඒ නිදහස නේද මේ අකුරු වෙලා තියෙන්නේ .... :)

    ReplyDelete
    Replies
    1. ඇත්ත ! :)

      මේ වැඩේ නිවාඩුවෙ ලංකාවෙදි කරන්න යද්දී, යන්තම් ගුටි නොකා බේරුණ හැටි මතක් වුණා ගෙදර අයගෙන් :P

      Delete
  3. ඇත්තටම නිදහසේ ඉන්න වෙලාවක තනියම මනෝ පාරක් දාගෙන ඇවිදින්න ඉඩක් කඩක් හම්බවෙන්නෙත් කීයෙන් කී දෙනාටද අද කාලේ අනෙක තමයි නංගි වෙන අයව තේරුම් ගන්න කලින් තමන් තමන්වම තේරුම් ගන්න ලැබෙනවා කියන්නේ අනාගතේ ගැන සුභ ලකුණක්

    ReplyDelete
  4. ජීවත්වීම ඇත්තටම රස්තියාදුවක්....

    ReplyDelete
  5. චේ ගේ බයිසිකල් සංචාරය පොතට ආසා වුන කෙල්ලෙක් හම්බවුනාමද කොහෙද ...........
    විස්වාස කරනවානං කරන්න මේක කියවද්දි මට හිතුනේ මගේ ඩයරියේ පිටු කියවගෙන යනවා වගේ ගතියක් ......
    මං මේ බ්ලොග් එකට දැම්ම පලවෙනි කොමෙන්ට් එක හොයාගෙන කියවන්නකෝ වෙලාවක් හම්බවුනොත් ,, ඒකේ මං ලියලා තියෙන්නේ මගේ ජාතියේ ජීවිත කථාවක් තියෙන තව එකෙක් ( එකියක් :D ) හම්බවුනා කියලා

    ReplyDelete
    Replies
    1. මතකයි හොඳටම.. මේ තියෙන්නේ "හහ් ......... මේ පොස්ට් එකෙන් මම දැක්කේ මාවමයි" :P

      කෙල්ලෙක් චේගෙ කතාවට ආදරේ වෙන එක විකාරයි වගේ ද ? o.O :P

      Delete
  6. ජීවත් වෙන එක ඇත්ත්ටම රස්තියාදුවක්

    ඒ කතාවට මම පට්ට ලයික්.. මොකද ඒක දැන් වෙද්දී හොදට දැනිලා තියෙන නිසා..

    ReplyDelete
  7. :D මේකෙත් හිතන්න දෙයක් තියෙනවා... :D

    ReplyDelete



Subscribe by email