Monday, November 25, 2013

පොතක් පරිත්‍යාග කරමු, අනාගතයක්ම එලිය කරමු!

පුංචි කතාවක් කියල යන්න හිතුණා..

පැය ගානක ගමනකට පස්සේ ගෙදරට ආවේ ‘වැනි වැනි’.. ඒක තමයි වචනේ. ආපු ගමන් අඩුමගානේ මුණවත් හෝදන්නේ නැතිව ගිහින් ඇඳට පැනල මං එනකල් බලාගෙන හිටපු අත්තම්මව බදාගත්තා. මාස ගානකට පස්සෙ මාව දැකපු අත්තම්මගේ ඇස්වල කඳුළු පිරෙනවා මම ඇඩුමක් හිරකරගෙන බලාන හිටියා. මං හෙමිහිට කොට්ටෙකුත් අරන් අත්තම්මගේ උකුල උඩින් තියල පරණ පුරුද්දට පොත් මේසේ උඩ කකුල් දෙකත් තියාගෙන හාන්සි වුණා. මට විතරක් දැනෙන දෙයක් ද දන්නේ නැති වුනත් කොහොමහරි මට දැනුණා ගෙදරම එළියක් හරි වෙනසක් වගේ දෙයක්. ඊටත් වඩා මගේ කාමරේ එළියක්.. ටිකක් වෙලා ගියා හොයාගන්න මොකද වෙලා තියෙන්නේ කියල. මගේ පොත් රාක්කේ.. ඒක හිස්..පහලම තට්ටුවේ තිබුණ පත්තර, සඟරා වගයකුයි, කතාපොත් දෙක තුනකුයි ඇරෙන්න. මම කෑගහගෙන නැගිට්ටා.  'කෝ මගේ පොත් ටික' කියල. එතකොට අත්තම්ම කිව්වා 'ඇයි දරුවෝ අර තාත්ත පෙට්ටිවල දාගෙන කොළඹ ගියේ' කියල. ඊට පස්සේ හිතේ කලබලේ හෙමින් අඩු වුණා. මොකද්ද වුණේ කියල මට මතක් වුණා. පොත් රාක්කේ ළඟම බිමින් වාඩිවෙලා මම ටිකක් කල්පනා කළා. 

දවසක් අහම්බෙන් මං බ්ලොග්ස් කියවද්දී නාඩියා අයියගේ මල් කැකුලකට පාට දෙන්න කියන ලිපිය දකිනවා. එකේ තිබුණේ ටිකක් වෙනස්, අමුතු..ඒත් ආස හිතෙන විදියේ අලුත් වැඩක් ගැන.  ඒ වෙලාවේ එකපාරටම හිතෙනවා පොත් රාක්කයේ කියවන්න මං නැතිව දුවිලි වැදි වැදි තියෙන පොත් ටික කියවන්න ආස, ඒත් පහසුකම් නැති අයියල අක්කල නංගිලා මල්ලිලට දෙන්න. අවංකවම කිවොත් නම් මම මගෙන්ම ආයේ ආයේ අහල බැලුව 'උඹ මේ සිරාවට ද කියන්නේ' කියල. මොකද පොත්වලට මම හරිම පෙරේත කෙනක්. මං ආස පොත් අයිති කරගන්න එක තමයි මම හැමදාමත් කරේ. කමක් නෑ. මේ හැගීම පට්ටයි. ආයේ මේක එහෙ මෙහේ වෙන්න කලින් කියල ඉක්මනින් මම නාඩි අයියට කතා කරලා විස්තරේ කිව්වා. අයියා ,මාව දිරිගන්වලා වැඩේ කරන්න උදව් කරා. ඊට පස්සේ තාත්තට කතා කරලා කිවම තාත්තත් ඇහුවා ඉතින් මේ ඇත්තටම ද කියන්නේ කියල...මගේ හැටි දන්න නිසා. පොත් කියවන්න ගෙනිහින් ගේන්නේ නැති අය එක්ක රණ්ඩු වෙන, පොකට් මනී ඔක්කොමත් පොත් ගන්න ඉතුරු කරන එකාට මේ මොකද මේ වෙලා තියෙන්නේ කියල.ඒත්.. ඔව් එක කීවේ අවංකවම. ඊට පස්සේ දවසක තාත්තා මගේ පොතුයි තාත්තගේ පොත් වගයකුයි අරගෙන ගියා. ඒ ගැන මට නාඩි අයියා මැසේජ් කරලා කියද්දී දැනුන විදිය හරිම අපූරුයි. සතුටක් විතරක්ම නෙවෙයි පොඩි සැහැල්ලුවක් වගේ දෙයක්..මට තේරෙන්නේ නෑ ඒක විස්තර කරන්න. . චූටි දුකක් දැනුනත් හිස් පොත් රාක්කේ දිහා බලද්දී, ඊට වඩා සතුටක්..ශක්තිමත් නැවුම් සතුටක් ඒ දුක ඉක්මනින්ම නැති කරලා දැම්මා. ඒ වෙලාවේම තාත්ත ගෙනිහිල්ල නොතිබුණු ‘පොලියානා’ කතාපොත පොත් රාක්කේ යටම තට්ටුවේ තියෙනවා මම දැක්කා. ඔව්.. පොලියානා වගේ මමත් සතුටු වීමේ සෙල්ලම  කරනවා.  

මේ අපුරු වැඩේ නම Needy Readers. මේක InternationalMovement for Community Development (IMCD) කියන ආයතනය. මේක ලංකාවේ ඉන්න දක්ෂ තරුණ උපාධිධාරී වගේම විශ්ව විද්‍යාලවල ඉගෙනගන්න අයියල අක්කල එකතුවෙලා හදපු ආයතනයක්. මම දැකපු විදියට ගොඩක් මිත්‍රශීලී, ලෙන්ගතු විදියට, අපේ වචනෙන් කියද්දී 'බොක්කෙන්ම' වැඩ කරන මේ හැමෝම කැපවෙලා ඉන්නේ තමන් ඉගෙනගත්ත රටට සේවයක් කරන්න. ඉතින් මේ අයගේ ලංකාවේ අඩු පහසුකම් සහිත  පාසල්වල පුස්තකාලවලට අවශ්‍ය පොත්පත් ලබාදීමේ ව්‍යාපෘතිය තමයි Needy Readers කියන්නේ. පොත් ලැබුනම ඒ ඉස්කෝලවල නංගිලා මල්ලිලාගේ අහිංසක මුණුවල ඇඳුණු හිනාවල් දැක්කම හිත පිරෙනව.. අලුත්ම පොතක් නැතත් කියවල ඉවර කරපු යහපත් තත්ත්වයක තියෙන පොතක් වුණත් මේ අයට ගොඩක් වටිනවා. මටත් ආසයි දිගටම මේ වැඩේ එක්ක ඉන්න. මම තීරණය කරනවා, කවදාහරි දවසක මේ අයියල, අක්කල ටිකත් එක්ක ගිහින් ඒ හිනාවල් මගේ ඇස දෙකෙන්ම බලාගන්න ඕන කියන අහිංසක පුංචි හීනෙත් එක්ක.    

'ඊයේ එක්සෑම් ගියපු ගමන් එයාපෝට් ගියා කියපු කෙනා තවම ඒ ඇඳුම් ඇඳගෙන. ඉක්මනට ගිහින් නාගෙන එන්න. අන්න ඔයා ආස නිසා කට්ට සම්බෝලයි, පොලොසුයි, කැකුළු බතුයි උයල තියෙනවා කන්න..' තාත්තා කාමරේට එබිලා කියද්දී හීන් හිනාවක් එක්ක කල්පනා කරපු මං ගැස්සිලා පොත් රාක්කේ ළඟින් නැගිට්ටා.  


හැමදාම ආසාවෙන් හිටියත් මේ වැඩේ ගැන කියන්න..එකට හොඳම විදිය හිතාගන්න ගොඩක් දවස් ගියා. පස්සේ තීරණය කරා පහුගිය නිවාඩුවේදී ලැබුණු මගේම ඇත්ත අත්දැකීම ලියන්න. කියවන ඔබත් කැමති නම් මේ කටයුත්තට සහයෝගයක් දෙන්න හෝ වැඩි විස්තර දැනගන්න මෙන්න තියෙනවා විස්තර. එහෙම නැත්නම් කමෙන්ට් එකක් හරි, වකාට මේල් එකක් දැම්මත් හරි..


Website :    http://imcds.org/

Email :          info@imcds.org

Facebook :  Needy Readers       https://www.facebook.com/NeedyReaders
                    IMCD                     https://www.facebook.com/IMCD.Official


Phone :      +94716663282
                +94714440946

Address :  15, Maya Mawatha, 
                Nawinna, Maharagama


Subscribe by email